banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

 කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉතිහාසය


හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඵෙතිහාසික පාරිසරික හා භූගෝලීය වශයෙන් සුවිශේෂී වැදගත් කමක් උසුලන ප්‍රදේශයක් ලෙස කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හැදින්විය හැක.වර්ග කිලෝමීටර් 169 ක භූමි ප්‍රමාණයක් හා ග්‍රාම නිළධාරි වසම් 84 කින් සමන්විත දිස්ත්‍රික්කයේ සුවිශාලතම ප්‍රාදේශිය සභාව ලෙස කටුවන ප්‍රාදේශිය සභාව දැක්විය හැකිය.


වීරකැටිය අඟුණුකොළපෑලැස්ස ඇඹිලිපිටිය මුලටියන යන ප්‍රාදේශිය සභාවන්ට මැදිව පිහිටා ඇත.වලස්මුල්ල හා කටුවන වශයෙන් ප්‍රාදේශිය කොට්ඨාශ දෙකකි.මුහුදු තීරයෙන් ඈත්ව පිහිටා ඇති කටුවන ප්‍රාදේශිය සභාව තුල අභ්‍යන්තර ජලාශ ගංගා වැවි දිය ඇලි හා ස්වාභාවික වනාන්තර වලින් සැදුම්ලත් ඵෙතිහාසික වටිනාකමින් යුත් ස්ථානයන් හා සම්පත් වලින් යුක්ත සුවිශේෂී ප්‍රාදේශිය සභාවකි.


මහාවංශ තොරතුරු වලට අනුව මෙම ප්‍රදේශය උතුරු ගිරුවාපත්තුවට  අයත් වූ අතර ගිරුවාය යනු "ගිරිඛණ්ඩ" විසින් පාලනය කළ ප්‍රදේශය බව පෙනී යයි. රම්මල කදු පාමුල පිහිටි ගිරුවාගම් දොළොස් දහස් පන්සියයකට අයිති කටුවන වූ කලී සිංහල රජවරුන්ට ආරක්ෂාව සැලසූ ස්ථානයක්ද වූ බව වලගම්බා රජු රම්මල කදු පාමුල ඇති සිත්තම්ගල්ලෙන ලෙන්හි ආරක්ෂාව සලසා ගත් බව මහාවංශයේ ද දක්වා තිබිම තුල පැහැදිලිය.වලගම්බා රජු සැඟවී සිටි කාලයේ වගා කරන ලද පළතුරු උයනක් රම්මල කදුකරයේ අදටද දැක ගත හැකිය.


කටු සහිත ප්‍රදේශයකින් වට වී ආරක්ෂිත ස්ථානයක් ලෙස ස්වාභාවිකවම නිර්මාණය වී පැවති (COTTU WANA) යන අරුතින් කටුවන යන නාමය ව්‍යවහාරයට පැමිණි බව ඵෙතිහාසික තොරතුරු වලින් විද්‍යාමාන වේ.ඈත අතීතයේ පටන් කටුවන ප්‍රදේශය කිතුල් මල් මැදීම හා පැණි හකුරු නිෂ්පාදනය කර්මාන්තයක් වශයෙන් කරන ලද බව vජොෂාන් වොල්ගාඩ් ග්‍රුන්ෂයිඩ්v නැමැති ජර්මන් ජාතික ලේඛකයාගේ 1734 රචිත සිලෝන් (CEYLON)  නැමැති ග්‍රන්ථයේ සඳහන් කර ඇත.කටුවන ප්‍රදේශයේ ඵෙතිහාසික වැදගත්කම පිළිබඳව සලකා බලන විට වර්තමානයේද කටුවන නගරය ආශ්‍රිතව දක්නට ඇති ඕලන්ද කොටුව අමතක කල නොහැකිය. 1640 ගණන් වලදී ඉදිවන්නට ඇතැයි සැලකේ.මුලදී පෘතුග්‍රීසින් විසින් ඉදි කරන ලද මුත් පසුව ලන්දේසින් විසින් අල්ලා ගෙන ඔවුන්ගේ රට මැද පිහිටි එකම පාලන මධ්‍යස්ථානය ලෙස පවත්වා ගෙන ගොස් ඇත.ඒ අනුව ඕලන්ද කොටුව ලෙස ප්‍රකට වූ එම බල කොටුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් එවන ලද සිංහල යුධ සේනාවක් විසින් 1761 වර්ෂයේ පෙබරවාරි මාසයේදී කටුවන ඕලන්ද කොටුවෙන් ලන්දේසින් පළවා හැර ඇත.


ප්‍රාදේශිය සභාවේ භූ විෂමතාවය අනුව බලන විට නැගෙනහිර හා දකුණු ප්‍රදේශ රැළි බිම් සහිත උසස්ම භූමි ලක්ෂණ පෙන්වන අතර බටහිර අඩි 2700 ක් හා වයඹ අඩි 2500 ක් පමණ උස් කදුවැටි ලෙස පිහිටා ඇත. නැගෙනහිර හා දකුණු ප්‍රදේශවල ජල හිඟයක් පවතින අතර නැගෙනහිරට එය වඩා උග්‍ර ලෙස බලපායි.ප්‍රදේශයේ ප්‍රධාන ජල ප්‍රවාහය ලෙස vඌරුබොකු ඔයv හැඳින්විය හැකිය.සභා බල ප්‍රදේශයේ තේ වගාව ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර පැඟිරි වගාවද පාරම්පරික වගාවකි. පොල් ගම්මිරිස් කුරුදු රබර් අනෙකුත් ප්‍රධාන වැවිලි බෝග වේ. වී වගාව කරන අතර මිශ්‍ර බෝග ගෙවතු වගාවන්ද ව්‍යාප්තව පවතී. ප්‍රධානතම ආදායම් මාර්ගය ලෙස කෘෂිකර්මාන්තය හදුන්වා දිය හැකිය.ස්වාභාවික සම්පත් අතර කළුගල් කිරිමැටි දැව ආදිය ප්‍රධාන වේ.


විශේෂයෙන්ම මේ වන විට කටුවන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ආපදා සහිත ප්‍රදේශ කීපයක්ම හදුනා ගත හැකිය.2003  මැයි 17 දින ශ්‍රී ලංකා වාසින්ට මෙන්ම කටුවන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ජනතාවටද විශේෂයෙන් අමතක නොවන දිනයකි.ගං වතුරත් සමඟ ඇති වූ නාය යෑම් තත්වය නිසා විශාල දේපළ මෙන්ම වටිනා මිනිස් ඡීවිීත රැසක්ද අහිමි විය.සපුතන්ත්‍රී කන්ද නායයාම නිසා මිනිස් ජීවිත 19 ක් හා නිවාස කීපයක්ද පොළොව තුල වැළලී ගියේය.සපුතන්ත්‍රී කන්ද නායයාමත් සමඟම ඒ හා අවට ඇති අනෙකුත් කදුද නාය යාමේ තර්ජනයන්ට ලක් විය හැකි බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් සිදු කරනු ලැබූ පර්යේශණ වලින් තහවුරු විය. ඒ අනුව

♦ සපුතන්ත්‍රී කන්ද

♦ රම්මල

♦ දෙහිගහහේන

♦ තලපත් කන්ද

♦හදුගල යන ප්‍රදේශයන් ද

මීට අමතරව

♦ උඩගොමඩිය

♦ කරවිල කන්ද

♦ බෙංගමුකන්ද

♦ මැදකන්ද

♦ හිඟුරකන්ද

♦ උඩ අළුපොද්දෙනිය

යන ප්‍රදේශයන්ද ආපදා සහිත ප්‍රදේශ ලෙස හදුනා ගෙන ඇත.
 
කටුවන ප්‍රාදේශිය සභාව
 
1944 වර්ෂයේදී කිරම ගම් සභාව මිද්දෙනිය ගම් සභාව හා තලාව ගම් සභාව වශයෙන් පැවති අතර 1984 වර්ෂයේ සංවර්ධන සභා පිහිටුවීමත් සමඟ මිද්දෙනිය හා කිරම ලෙස උපකාර්යාල වශයෙන් පවත්වා ගෙන යන ලදි. 1988 වර්ෂයේදී ප්‍රාදේශිය සභා පිහිටුවීමත් සමඟ මිද්දෙනිය හා කිරම ලෙස උපකාර්යාල දෙකකින්ද කටුවන ප්‍රධාන කාර්යාලය ලෙසද කටුවන ප්‍රාදේශිය සභාව ස්ථාපිත කරන ලදි.